
(දමින්ද විජේසූරිය)
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පුපුරාගිය බෝම්බයෙන් බියට පත්ව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සිය තීරණය වෙනස් කරගැනීමට සිදුවී තිබේ. එබැවින් එක්දින තරගාවලිය සඳහා පාකිස්තානයට ගිය ක්‍රීඩකයන් 16 දෙනා සහ පුහුණු කාර්යමණ්ඩලය, තවදුරටත් පාකිස්තානයේම රැඳී සිටිමින් එක්දින තරගාවලියට සහ විස්සයි-20 තුන්කොන් තරගාවලියට සහභාගි වනු ඇත.
ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 8 දෙනෙක් පමණ තරගාවලිය අතහැරදමා නැවතත් ශ්‍රී ලංකාවට යා යුතු යයි කණ්ඩයමේ නිලධාරීන්ට බලකරන්නට වූහ. එහෙත් පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් මෙන්ම සිම්බාබ්වේ ක්‍රිකට් බලධාරීන් සමගත් කළ සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ තරගාවලියේ ඉතිරි තරග සමගින් ඉදිරියට යා යුතු බවයි.
ඒ අනුව අද (13 වැනිදා) සහ සෙනසුරාදා (15 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබුණු දෙවැනි සහ තුන්වැනි එක්දින තරග දෙක හෙට (14 වැනිදා) සහ ඉරිදා (16 වැනිදා) පැවැත්වේ.
තුන්කොන් තරගාවලියේ කාලසටහනත් සංශෝධනය කර ඇති අතර 17 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණු තුන්කොන් තරගාවලිය 18 වැනිදා ආරම්භ වේ. ආරක්‍ෂක හේතූන් මත තුන්කොන් තරගාවලියේ සියලුම තරග රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.
සංචාරක ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට උපරිම ආරක්‍ෂාව සැලසීමට පාකිස්තානු ආරක්‍ෂක අංශ පොරොන්දු වී තිබේ. පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා වන මොසින් නක්වි මහතා පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා මෙන්ම ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ද වෙයි.
යම් හෙයකින් කිසියම් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩක කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස් නොතකා, ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේ නම් ඔවුන් සම්බන්ධයෙන් ‘විධිමත් පරීක්‍ෂණයක්’ කෙරෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට දන්වා සිටියේය.
“අතිරේක ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වගේම අතිරේක නායකයකුත් අපි තෝරාගෙනයි හිටියේ. කලින් යවපු ක්‍රීඩකයන් ලංකාවට ආවා නම් අතිරේකව තෝරාගෙන හිටපු ක්‍රීඩකයන්ව යවලා අපි තරගාවලිය ඉදිරියට ගෙනියනවා...”
“ඒත් දැන් එහෙම අවශ්‍යතාවක් නෑ. මොකද දිගටම පාකිස්තානයේ ඉඳලා තරගාවලි දෙකටම සහභාගි වෙන්න ක්‍රීඩකයන් කැමතිවෙලා තියෙනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඊයේ (12 වැනිදා) රාත්‍රියේ කියා සිටියේ තරගාවලිය අතහැරදමා ශ්‍රී ලංකාවට පැමිණෙන කිසියම් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩක කණ්ඩායමක් වේද ඔවුන්ට ඒ වෙනුවෙන් සෑහෙන වන්දියක් ගෙවීමට සිදුවන බවයි.
“ඒක සමහර විට අවුරුදු දෙකක සම්පූර්ණ ක්‍රිකට් තහනමක් වෙන්නත් පුළුවන්....”
“මෙයාලා හැමදේම කරන්නේ ඒගොල්ලන්ගේ වාසියට. ෆ්‍රැන්චයිස් (පෞද්ගලික කණ්ඩායම් අතර) ක්‍රිකට් ගහන්න ලියුම දෙනවානම් ඕන දෙයක් කරයි... බලමුකෝ මේ පාර වෙන්නේ මොකද කියලා...”
“අපි බලාගෙන ඉන්නේ හෙට (13 වැනිද) උදේ ඉස්ලාමාබාද් එයාපෝට් එකෙන් කවුද ප්ලේන් එකට නගින්නේ කියලයි..” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් බදාදා රාත්‍රියේ පැවසීය.
මේ අතර තුන්කොන් විස්සයි-20 තරගාවලියට සහභාගි වීම සඳහා සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් සිම්බාබ්වේ කණ්ඩායමද අද (13 වැනිදා) අලුයම ඉස්ලාමාබාද් ගුවන් තොටුපෙළෙන් පාකිස්තානයට පැමිණියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.